Wednesday, December 21, 2016

ලංකාවේ තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් 'වඳවීමේ තර්ජනයක්'

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් වඳවීමේ තර්ජනයකට මුහුණ දී සිටින බව පරිසර විද්‍යාඥයෙක් පවසයි.
ත්‍රිකුණාමලය, මිරිස්ස සහ කල්පිටිය තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් දක්නට ලැබෙන අතර, ඒ අතරින් වසරේ සෑම දිනකදීම එම සතුන් දැකිය හැකි එකම ස්ථානය මිරිස්ස මුහුදු තීරයයි.
එහෙත් මේ වනවිට මිරිස්ස ප්‍රදේශයේද ඔවුන් වඳව යාමේ තර්ජනයක් පවතින බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පෙන්වා දෙයි.
"වෙරළට ආසන්නයේම තිබෙන ගැඹුරු මුහුදේ එම සතුන්ට කිමිදෙන්න පුළුවන් නිසාත්, හොඳට ආහාර සොයාගන්න පුළුවන් නිසාත් මෙම ප්‍රදේශවල එම සත්වයින් ගොඩාක් එකතුවී සිටින," බව සමුද්‍ර ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර බීබීසී සිංහල සේවයට පැවසීය.
"ලංකාවේ තල්මසුන් හා ඩොල්ෆින් විශේෂ කිහිපයක්ම එක වතාවකදී බලා ගැනීමට හැකිවීම මේ ප්‍රදේශවල සුවිශේෂී ලක්ෂණයක්."

ධීවර කර්මාන්තය සහ ශ්‍රී ලංකාව ආසන්නයේම තිබෙන ජාත්‍යන්තර නාවික මාර්ගය හේතුවෙන් තල්මසුන් හා ඩොල්ෆින් මසුන්ගේ ස්වභාවික දිවි පෙවෙතට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි, ඔහු පවසන්නේ.
"ධිවර කර්මාන්තය සදහා භාවිත කරන දිග දැල් වර්ග මෙම සතුන්ගේ ඇඟේ පැටලීම නිසා මෙම සතුන් හානියට පත්වෙනවා. අනික තල්මසුන් හා ඩොල්ෆින් නැරඹීමකට වඩා සිදුවන්නේ ඔවුන් පසු පස පැන්නීමක්."
2012 දී පමණක් නැවුවල ගැටී මියගිය තල්මසුන් 12 දෙනෙකු වෙරළට ගොඩ ගසා තිබූ බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේය.
මේ තත්වය පාලනය කිරීම පිණිස සතුන් නැරඹීමේ සංචාරක ව්‍යාපාරය දැඩි පාලනයකට යටත් කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කරයි.
''සමහර අය මාළු අල්ලන්නෙත් ඩොල්ෆින්ලගේ උදවුවෙන්. නමුත් සමහර අය ආහාරයට ගන්න එයාලා මරනවා. ඒවගේම මම දැක්ක දෙයක් තමයි තල්මසුන් නැරඹීමේ තරගය නිසා එම සතුන්ගේ ආසන්නයට බෝට්ටු ගමන් කිරීමෙන් වන හානිය."
මේ තත්වය පාලනය කිරීම පිණිස දැඩි නීති විධිවිධාන හඳුන්වා නොදුන්නොත් ඉතා ඉක්මනින්ම මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් හා ඩොල්ෆින් දැකිය නොහැකි තත්වයක් උදා විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.
දැනට තිබෙන සංචාරක බෝට්ටු ප්‍රමාණය වැඩි බැවින් රජය මැදිහත් වී මෙම තල්මසුන් නැරඹීමේ යාත්‍රා ප්‍රමාණය පාලනය කළ යුතු බව දිගු කලෙක සිට මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් නැරඹීමේ සංචාරක ව්‍යාපාරයක නියැලෙන රංගන මනෝච් බීබීසී සංදේශයට පැවසීය.
--------------------------------------------------------------------------------------------------
                                               dakshina fernando 

No comments:

Post a Comment