Tuesday, December 6, 2016

බැසිල්ට එරෙහිව ගොනුකරන ලද නඩුව ඉල්ලා අස්කරගනී.


දිවි නැගුම අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් නීතිපතිවරයා විසින් අද (දෙසැ.06) ඉල්ලා අස්කරගනු ලැබීය.
ඒ අනුව, කොළඹ මහාධිකරණය නියෝග කළේ බැසිල් රාජපක්ෂ අදාළ චෝදනාවලින් නිදහස්කරන ලෙසය.
පසුගිය ජනාධිපතිවරණය සමයේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් 'ලිත්' ලක්ෂ 5ක් බෙදාහරිමින් දිවි නැගුම අරමුදලේ රුපියල් ලක්ෂ 290ට වැඩි මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා නගමින් බැසිල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.    

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ අදාළ චෝදනා පත්‍රවල තාක්ෂණික දෝෂ පවතින බැවින් යළි නඩු පැවරීමේ අපේක්ෂාව ඇතිව නඩුව ඉල්ලා අස්කරගන්නා බවය.
චෝදනා පත්‍ර ඉල්ලා අස්කරගැනීමට ඉඩ දෙමින් විත්තිකරුවන් දෙදෙනා නිදහස් කළ අධිකරණය, බැසිල් රාජපක්ෂ විදෙස්ගතවීම වළකාලමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට ද නියෝග කළේය.
දිවි නැගුම අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කළ තවත් නඩු දෙකක් මේවනවිට මහාධිකරණය හමුවේ විභාග වෙමින් තිබේ.

--------------------------------------------------------------------------------------------------------------------------------

                                                              dakshina fernando 

No comments:

Post a Comment